5 ප්‍රතිචාර

මොකද හිතන්නේ... පොටෝකාරයෝ මෙහෙමද?


ඔන්න මුලින්ම කියලයි පටන් ගන්නේ...  හැමෝම මෙහෙම නැතුව ඇති හැබැයි බොහොමයක් මෙහෙමයි...
වෙඩිම කියන්නේ ඉතින් දැන් කාලේ මහ ඉහලින් ණය වෙලා කොරන දෙයක්නේ. අවුරුදු ගානක් ප්ලැන් කොරොලා වාහනයක් ගන්න පුලුවන් තරම් මුදලක් වියදම් කොරලා ලොකුවට ගන්න වෙඩිමේන් අන්තිමට ඉතිරි වෙන්නේ අර පැය ගානක් එක එක විදිහට ඇක්ට් කරලා  කට්ටකාලා ගත්තු පින්තූර ටික විතරනේ.. එහෙව් ගත්ත පින්තූර ටික ඇල්බම් එකට දාල දෙන්න අවුරුදු එකහාමරකටවත් බැරිවුන පොටොකාරයෙක් ගැනයි මේ කතාව...

ලියන මහත්තයාගේ වෙඩිමේ පින්තූර ගන්න බාර දුන්නු පොරව මුලින්ම හම්බුවෙන්න ගිය වෙලාවේ කතා කලේ නිකන් පණ දෙන්න වගේ... හරි අහින්සක විදිහට කතාකරන පොරට ඇඩ්වාන්ස් එකක් දිලා එහෙම ආවේ මිනිහගේ ගාන අපිට දරන්න පුලුවන් වුන නිසා. කොහොම හරි හරියටම වෙඩිමට මාසයකට කලින් කොල් එකක් දීලා බැලන්ස් එක ගන්නත් අමතක කලේ නෑ.

ඔන්න ඉතින් වෙඩිමත් ඉවරයි කිවුවලු... පහුවදාම DVD එක ගිහින් ගත්තා පින්තුර ටික ‍තෝරලා දෙන්න. පින්තූර ටික ‍තෝරලා දුන්නත් එතනින් එහාට වෙන දෙයක් නෑ වගේ.. මාස ගානක් ගියා.. කොල්ස් හැටහුටාමාරක් දුන්නාත් ඒ හැම වෙලාවෙම කිවුවේ එදාට දෙන්නම්...  මෙදාට දෙන්නම්... 


ඔය කෝල් එකක් දුන්න අතරේ මෙන්න මූ කියපි ‍තෝරලා දුන්න පින්තූර ටික කඩේ මාරුකරනකොට නැතිවෙලා කියලා.. ලියන මහත්තයා වැඩේ කෙරෙන්න ඕන නිසා ආයිමත් ‍තෝරලා දුන්නා... කොහොමෙන් හරි  අමරුවෙන් ගිය ඔක්තෝම්බර් මාසේ  පි‍ටු ටික ඉල්ල ගත්තා හරි වැරදි බලන්න.. පහුවදාම ආපහු යැවුවත් අද වෙනකම් නො කෝල්... කෝල් කලත් නෝ ආන්සර්..

ලියන මහත්තයා තමන්ගේ නෝනා කැන්දන් ඇවිත් දැන් අවුරුදු එකහාමරක් වුනා.. මාස තුනක පොඩි කොලු පැටියෙකුත් ඉන්නවා දැන්.. එත් අර කිවුවා වගේ කට්ට කාලා ගත්තු වෙඩිමේ පින්තූර ටික තමා තාම නැත්තේ.

මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.. හෙට අනිද්දා වෙඩින් ගන්න ඉන්න උන් ඉන්නවනම් එක උපදෙසයි තියෙන්නේ.. ඇල්බම් එක අතට හම්බුවෙනකම් සල්ලි ගෙවන්න එපා....

2 ප්‍රතිචාර

‍දො‍ළ‍හක්‍ ‍ත‍ර‍හන්‍ ‍බැ‍ලු‍වෙ‍මි..

කාලෙකට පස්සේ ලියන මහත්තයාට නාටකයක් බලන්න අවස්තාවක් හම්බුනා.

 කතාවේ නම දොළහක්.. කතාවට තේමාව වෙන්නේ Reginold Rose ගෙ Twelve Angry Men කියන නිර්මාණයයි. කතාවේ සාරාංශය බොහොම අමාරුවෙන් හොයා ගත්තේ මෙතනින්..

"දොළොස් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක එකොළොස්දෙනෙකුම එකග වූ තීන්දුවක්, සාධාරණ සැකය මත පදනම්ව විරුද්දව ඡුන්දය පළ කළ එක් තනි සභිකයෙකුගේ පෙළඹවීම නිසා යළි සලකා බැලීමට බල කෙරෙන ආකාරය මේ නාට්යය තුළින් පිළිබිඹු වෙයි. ඝාතන නඩු විභාගයක් අවසානයේදී, විනිශ්චයකාරවරයා විසින් තීන්දුවක් දීමේ වගකීම ජූරි සභාව වෙත පවරන අවස්ථාවෙන් කතාව ආරම්භ වෙයි.බෝහෝ අපරාධ නඩුවදී සේම මේ නඩුවේදීත් ජූරි සභිකයින් දොළොස්දෙනා ඒකමතිකව ‘‘වැරදිකරු ’’ හෝ ‘‘නිවැරදිකරු’’ යන තීන්දුවට එළඹිය යුතුවෙයි. තීන්දුව ‘වැරදිකරු’ වූවොත්, විත්තිකරුට මරණ දඩුවම හිමිවීම අනිවාර්ය බවද ජූරි සභාවට විනිශ්චයකරු විසින් දැනුම් දෙනු ලබයි.නඩුවෙන් විභාග කෙරෙන්නේ, ගැටවර වියේ සිටින කොල්ලෙකු සිය පියා ඝාතනය කළේද නැද්ද යන්නයි. 

තීන්දුවක් ගැනීම සඳමහා ජූරි කාමරයට යන මේ පුදුගලයින් දොළොස්දෙනා, එහිදී එකිනෙකාගේ පෞරුෂයන් සහ චරිත ස්වාභාවයන් හඳුනා ගනී. මුලූ සාකච්ඡාව පුරාම කිසිම සභිකයෙකු අනෙකාට නම කියා කතා කරන්නේ නැත.එකිනෙකාගේ නම් මොනවාදැයි ඔවුන් දන්නේ නැත. ජූරි සභිකයින් කිහිපදෙනෙකුට විවිධ හේතු නිසා නඩුවේ විත්තිකරුවා කෙරෙහි කලින්ම ගොඩනගාගත් අගතිගාමී ආකල්ප ඇත. ඔහුගේ ජාතිය, ඔහුගේ සමාජ පසුබිම නිසා ඇතැමෙක් ඔහු කෙරෙහි අප්රසාදයක් ඇතිකරගෙන සිටින අතර, තමන්ගේ පුතා සහ තමා අතර ඇති ගැටුම්කාරී සම්බන්ධතාව හරහා මේ සිද්ධිය කියවන තවත් ජූරි සභියෙකුට විත්තිකාර කොල්ලා සහ සමස්ත සිදුවීම පිළිබඳ තමන්ගේ පෞද්ගලික අත්දැකීමෙන් වියුක්තව බැලිය නොහැකිය." 

ලියන මහත්තයා කතාව ගැන කියන්න නෙමේ යන්නේ.. මොකද ලියන මහත්තයාට ඔය විචාරක මොකක්ද එක නෑ.. කතාව නියමයි.. හැබැයි පටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවර වෙනකන් මල පැනලා හිටියේ පිටි පස්සෙ හිටපු එකත් එක්ක..

ඔය ලයනල් වෙන්ඩ්ට් ගිහින් නාට්යක් බලපු ඇයෝ දන්නවා ඇතිනේ එකේ තියන පහසුකම්... අර පරණතාලේ වියපු පුටුනේ දාලා තියෙන්නේ.. එකෙත් ගතියක් තියනවා.. මොකද කුශන් කරපු පුටුවල වාඩිවෙලා පුරුදු අපිට අරම පුටුවක වාඩි උනාම ඉස්සර කාලේ අපේ ගෙවල් මතක් වෙනවා.. එවායින් වැඩක් නෑ ආපහු කතාවට ආවනම්...

ඔන්න ඉතින් කතාව පටන් ගත්ත වෙලාවේ ඉදන් පිටිපස්සේ වාඩිවෙලා උන්නු හාදයාගේ වැඩේ මගේ පුටුව එක්ක සෙල්ලම් දාන එක.. පොර පුටුවේ හිඩස කකුල තියලා හොල්ලනවයි පුටුවට පයින් ගහනවයි ඉවරයක් නෑ ලියන මහත්තයා කීප පාරක්ම පස්ස හැරිලා බැලුවත් වැඩේ අඩුවෙන පාටක් නෑ.. අනික් අයට බාදා වෙන නිසා අමාරුවෙන් කට වහගෙන පුටුව හිමීන් සීරුවේ ඉස්සරහට ගත්තා.. ඉවර වෙලා එලියට ආවම හොදට කියලා දෙන්න අමතකලේ නම් නෑ.. පොර ඒ වෙලාවේ කතා කලේ නිකන් ලයනල් වෙන්ඩ්ට්එකේ අයිතිකාරයා වගේ...

අපි කවුරුත් කැමති කරදරයක් නැතිව ආතල් එකේ කරන වැඩක් කරන්න.. ඒ වගෙම ලියන මහත්තයනම් ගොඩක් වෙලාවට අමාරුකම් කට්ට කාගෙන ඉදලා තියනවා අනික් මිනිස්සුන්ට කරදරයක් වෙයි කියලා. එත් සමහරු හැසිරෙන්නේ නිකන් මේ ලෝකේ ජිවත් වෙන්නේ එයාලා විතරක් වගේ..

 අනේද මන්දා..
7 ප්‍රතිචාර

පූජනීය කැළණියේ අසුන්දර පැතිකඩ






මේකත් ලියන මහත්තයා ලබපු අත්දැකීමක්.


මේ මාතෘකාව ටිකක් විතර විවාදයකට යන්නත් පුලුවන්. ලංකාව ඉතින් අර මොන නිදහස තියන රට නේ..

මේකයි කතාව ...

මේ ලගකදී ලියන මහත්තයාට කැළණි පන්සලට යන්න වුනා. කැළණිය කියන්නේ බෞද්ධ අපිට වැදගත් තැනක් නේ.. "උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ" කියලා පරණ කියමනකුත් එක්ක ගොඩක් ශ්‍රද්ධාවෙන් ලියන මහත්තයත් ගමන යන්න ලැස්ති වුනා .

කොහොමෙන් හරි කැළණියට ඇවිත් පන්සලට ඇතුල්වෙන තැනදී ලියන මහත්තයාට මුණ දෙන්න වුනේ හරිම ඇබැද්දියකට...

ඇතුල්වෙන තැන රෝද පුටුවක හිටපු අසනීප ගෑනු ලමයෙකුට පොඩි ආධාරයක් කලා විතරයි ලියන මහත්තයාව හිගන්නෝ 20ක් විතර වටකර ගත්තා. හරියට නිකන් පාන් කෑල්ලක් වට කරගත්ත කාක්කෝ රැලක් වගෙ. ලියන මහත්තයට ඇත්ත හිගන්නෝ කවුද කියලා හිතා ගන්න බැරි තරමට නානා විදිහේ කට්ටිය එතන හිටියා.. ලෙඩ්ඩුන් ගෙ ඉන්දලා වන්දනා ගමන් යන අම්මලා වගේ විවිධ හේතු කියපු කට්ටියගෙන් බේරිලා පන්සලට ගියේ මාර ගේමක් දීලා. නොදුන්නොත් ගුටි කන්නවෙයිද කියලත් හිතුනා..

ආයිමත් එද්දිත් යද්දි වුන සන්තෑනියම තමා..මේ සැරේ දීලා නෙමේ.. කලින් පාර දුන්න එක මතක තියන් ඉදලා වගේ ආයිමත් වටකර ගත්තා... වාහනේට ගොඩවෙලා යනකන්ම හිගන්නෝ ටික අත අරින්නෙම නෑ. මේ අත්දැකීම තව කිපදෙනෙකුත් අත් විදිනවා ලියන මහත්තයා බලන් හිටියා ..

ලියන මහත්තයා දැක්කා මේ කට්ටිය සංවිධානාත්මකව මේ වැඩේ කරගෙන යන විත්තිය. එක්කෙක්ට දුන්නොත් හරි දෙනවා දැක්කොත් හරි අනික් සෙට් එකට පණිවිඩය යනවා. කස්ටිය එතකොට වටවෙනවා.එක්කෙනෙක්ට දුන්නොත් හැමෝටම දෙන්න වෙනවා වගේ වැඩක් එතන දී වෙන්නේ.. මේ වගේ පූජණීය තැනක දී මෙහෙම දෙයක් වුනාම ටිකක් අපහසු තාවයකට වගේම සමහරුන්ට ටිකක් කේන්තිත් යනවා ලියන මහත්තයා බලාගෙන උන්නේ..

නැතිබැරි කෙනෙක්ට යමක් දෙනවා කියන්නේ පිනක්. හැබැයි ලියන මහත්තයා දකින විදිහට කාට දෙනවද කියන එක දෙන කෙනාගේ කැමැත්ත.. නමුත් දෙන්න බල කරන එක අනුමත කරන්න බෑ..
6 ප්‍රතිචාර

නැන්දාගේ පාඩම

මේ කතාව ගොඩක් වෙලාවට අපි හැමෝම අත්දකින දෙයක් වෙන්න පුලුවන්. දැන් පරම්පරාව ඉතින් ගොඩක් හයි ෆයි නේ.. මොබයිල්, ටැබ් ලැප්ටොප් වල ඉදලා නානා ප්‍රකාර තාක්ෂණවල හිර වෙච්ච හිරකාරයෝ වගෙ කිවුවොත් නිවැරදි මම හිතන්නේ. මොකද ඔය තාක්ෂණය නැතිව දවසක් ජිවත් වෙනවා කියන්නේ මරනවා වගේ නේ.

ඔන්න ඉතින් මේකයි සිද්ධිය...

පොර ටොක්ස් දුන්නත් ලියන මහත්තයත් ඔය හිරකාරයෝ ගොඩට වැටෙන පොරක්.. නිවාඩුවක් ලැබුනත්, වැඩ ඉවරවෙලා ගෙදර ආවත් කරන්නේ ලැප්ටොප් එක දිග ඇරගෙන මොනවා හරි කොට කොට ඉන්න එක. ගොඩක් වෙලාවට  අම්මාගෙත් සමහර වෙලාවට නෝනා පොඩ්ඩගෙත් උදහට ලක්වෙන්න මුලික හේතුව මේක තමයි. ඉතින් ඒ වේලාවට කරන වැඩේ පහදලා දෙන එක තරම් අමාරුක් වෙන නෑ. ඉතින් එහෙව් එකේ අපේ නැන්දා උත්තමාවිය මට කියල දුන්න පාඩමක් තමයි මේ.


සුපුරුදු විදිහට සෙනසුරාදා දවසේ ලියන මහත්තයා ලැප්ටොප් එකේ කොට කොට ඉන්නකොට, මමතුමාගේ ආදරණීය නැන්දා ගෙදරට කඩාගෙන පහත් වුනා.. අපේ නැන්දා 50 දශකයේ ඉපදිලා හිටපු නිසා ටිකක් විතර වයසයි. ඒ වගේම කතාවට සෙට් උනොත් බඩුම තමා. ඔය වග කලින්ම දන්න නිසා ලියන මහත්තයාත් ඉතින් නැන්දව පිලිඅරගෙන හෙමින් සීරුවේ අපේ නෝනා පොඩ්ඩට බාර දීලා ආපහු කරන වැඩේට බැස්සා..

 ටික වේලාවකින්,

"ලොක්කෝ මොනවද බන් උබ ඔය මගුලේ ඔබ ඔබ ඉන්නේ?" ආදරණීය නැන්දා ලියන මහත්තයාව අමතනවා...

කෙලිනවා කිවුවලු තාප්පෙට.... දැන් ඉතින් වැඩේ කොරලා හමාරයි..

"නෑ නැන්දේ මේ පොඩි වැඩක්.."

"පොඩි හරි ලොකු හරි.. ගෙදරට කවුරු හරි අවමත් උබ ඔය මගුලෙද එල්ලිලා ඉන්නෙ?"  නැන්දා ආයි ගේම් ඉල්ලනවා...

"මෙයාට කියලා වැඩක් නෑ නැන්දේ.. ඕකේ එල්ලුනාම කන්න බොන්නත් ඕනේ නෑ මෙයාට" අපේ නෝනා පොඩ්ඩත් සෙට් වෙලා. හරියට නිකන් කාන්තාවන්ට සම තැන ඉල්ලන්න කරන උද්ගෝෂනයක්  වගේ... බෝඩ් කෑලී ටික විතරයි අඩු.. සටන්පාඨ එමටයි....

"හරි දැන් මම මේ වැඩේ කරන එකේ වැරද්ද මොකක් ද? මේක මගේ රස්සාවේ හැටිනේ" මමත් සෙකන්ඩ් වෙන්න අකමැති කමටම කටට ආපු කෙබරේ අත ඇරියා..

"ඈ බන් ලොක්කෝ උබට සෙනසුරාද ඉරිදා වැඩ කරනවාට ගෙවනවද පුතේ?" එතනට අඩුවෙලා හිටපු අපේ මවුතුමියත් සෙට් වුනා කාන්තා නිදහස උදෙසා...

මට ඉබේමටම  වටපිට බැලුනා කවුරු හරි පිරිමි පරානයක් ඉන්නවද කියලා උදව්වට.. කරුමෙට එදා මම විතරයි..

"හරි දැන් මට මොකක්ද කරන්න කියන්නේ?"

" අමුතුවෙන් උබට කියන්න දෙයක් නෑ නේ. තමන්ගේ පවුලත් එක්ක කතා බහ කරලා හිටපන්කො මනුස්සයෙක් වුනාම" නැන්දා ගේම අත අරින්නෙම නෑ වගේ.

"හරි දැන් කතා බහ කරන්නෙ නැද්ද ඔයලත් එක්ක?"

 "පුතේ මිනිහෙක්ට තියන වැදගත්ම දේ ඔය මගුල ඔබ ඔබ ඉන්න එක නෙමේ. මිනිස්සු එක්ක කතාබහ කරලා හිනාවෙලා ඉන්න එක. මොකද අන්තිමට ඔය බම්බු එකක්වත් නෑ ඔනවෙලාවට... ඉන්නේ මිනිස්සු විතරයි..."

අපේ නෝනා පොඩ්ඩගේ ජයග්‍රාහී හිනා හඩ මැද්දෙන් ලියන මහත්තයා එතනින් පලා ගියේ වෙන කරන්න දෙයක් නැති කමටත් වඩා කිවුව කතාවේ ඇත්ත නිසා.....

ඇත්තටම පොඩි කේන්තියක් ආවත් නැන්දා කියපු කතාව ගැන ලියන මහත්තයාට දෙපාරක් හිතන්න වුනා. මොකද කිවුවොත්, රස්සාවේ හැටියට ලියන මහත්තයාට දවසෙන් ගොඩක් වෙලා වැඩ කරන්න වෙන්නේ ලැප්ටොප්  එක්ක. එකෙන් සම්බන්ධවෙන ස්යිබ්ර් ලෝකයේ ජිවත් වුනාට හැබැම සතුට තියෙන්නේ මිනිස්සු එක්ක තියන සම්බන්ධවලින් කියන එක ටිකක් විතර අමතක වෙල උන්නේ. ඉතින් ලියන මහත්තයා මේ සිද්ධිය දකින්නේ තමන්ගේ ඇස් ඇරවීමක් විදිහටයි....
4 ප්‍රතිචාර

ශ්‍රී ලංකාවේ සුපිරි පොසතුන්...



අද මුණු පොතේදී දැක්කේ... ලියනමහත්තයාට අදහස් ගොඩක් ආවත් ඒවා නොලියන්නේ ලියලා වැඩක් නැති නිසයි... ලිස්ට් එකේ ඉන්න අයගෙන් කවුද හරි පොසතුන් කියලා තීරණය කරන එක ඔබට බාරයි...

ශ්‍රී ලංකාවේ සුපිරි පොසතුන්...
2 ප්‍රතිචාර

ආයිමත් කැම්පස් ගියෙමි...

මම තුමා අද කුරු‍ටු ගාන්න යන්නේ මතකයක් ගැන.. ලියන මහත්තයාට මේ ලඟදී ඉගෙන ගත්ත කැම්පස් එකට යන්න හම්බුනා. ලියන මහත්තයා A/L පාස් වෙලා කැම්පස් ගිය පොරක් නෙමේ.. උපාධි කඩයකට පින් සිද්ධ වෙන්න උපාධියක් අරගෙන වේලී වේලී ඉන්නකොට ඉන්නකොට ගෙදරින් ආපු මෙවුව්වා එකට තමා මාස්ටර් උපාධියක් කරන්න  ලියන මහත්තයා කැම්පස් ගියේ. උපාධි කඩයේ ඉන්න කාලේ උනත්  A/L පාස් වෙලා කැම්පස් යන්න බැරි වුන එක ගැන තිතේ පොඩි අවුලක් තිබ්බා. පොඩි අවුල ඇතිවුනේ, අපේ ගෙදර ඒ කාලේ නැවතිලා හිටපු කැම්පස් බුවා නිසා. පොරගේ කතා අහනකොට අපරදේ කියලා හිතුන වාර අනන්තයි. ඒත් ලබා උපන් හැටි කියලා හිත හදා ගත්තේ අර කිවුවා වගේ උපාධි කඩේට පින් සිද්ධ වෙන්න...

කොහොමෙන් හරි ඒ ගෙවුන අවුරුදු දෙකේ ආතල් වගෙම චාටරුත් තිබ්බා. සතියේ දවස් 5 වැඩ කරලා සෙනසුරාදයි ඉරිදයි කැම්පස් යාම තමයි තිබ්බ ලොකුම චාටර් එක. අපේ පන්තියේ බහුතරයක් අවුරුදු 30 පැනපු උදවිය වුන නිසාමද කොහෙද බැච් එකේ ‍ෆිට් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් තිබ්බේ නෑ. උදේ 9ට පටන් ගන්න පන්තිය හවස 4 විතර වෙනකම් තිබ්බත් මුල් වාරයේ විභාය වෙනකම්ම පන්තියෙන් බාගයක් විතර එකිනෙකා අදුරන්නේ නෑ. ඒ තරම්ම බැච් ‍ෆිට් එක. කොහොමෙන් කොහොම හරි හෙන ගේමක්දිලා ගිය ට්‍රිප් එකට පින් සිද්ධ වෙන්න කට්ටිය ටිකක් විතර සෙට් උනා. උනා කිවුවට සෙට් වෙන්න සිද්ධ වුනා කිවුවොත් නිවැරදි.

ඔය මොනවා උනත් ලියන මහත්තයාගේ ආතල්ම  වැඩේ තමයි අකමැති ලෙක්චර්ස් තිබ්බ දවස් වල එවා කට් කරලා කැම්පස් එකේ සෙල්ලන් කරන පොඩි උන්ට (පොඩි කිවුවේ උපාධි කරන උන්ට හරිද..)  සෙට් වෙලා හවස් වෙනකම් ක්‍රිකට් ගහන එක. අපරාදේ කියන්න බෑ පොඩි වුන් ටික ලියන මහත්තයාගේ වයස ගැන බලන්නේ නැතුව ටීම් එකකට දැම්මා. දැම්මට ඉතින් උන් තරම් හැකියාවන් පෙන්නන්න බැරිඋන එක වෙනම සීන් එකක්. එපා වෙලා නවත්තනකම් සෙල්ලම් කරන තරම් වෙන ආතල් එකක් තවත් තිබ්බේ නෑ. ඔය සෙල්ලම නිසාම ලියන මහත්තයාට පොඩි උන් සෙට් එකක්ම අදුන ගන්න පුලුවන් උනා. උන්ගේ කැම්පස් අත්දැකීම් ගැන කියන කතා ඇහුවාම අර කැම්පස් යන්න බැරි වුන එක ගැන තිතේ පොඩි අවුල ඩබල් ත්‍රිබල් උන අවස්තා බොහොමයි..

කොහොමෙන් හරි අවුරුදු 2 ගතවෙලා ලියන මහත්තයා මාස්ටර් උපාධිය ඉවර කරලා කැම්පස් එකෙන් සමුගත්තා. අන්තිම ටිකේ පොඩි ගැන්සිය එක්ක සෙට් වෙන්න හම්බුනෙ නැ තිබුන වැඩ ගොඩ එක්ක. අදටත් ඒ සෙට් එකේ කිහිප දෙනෙක් එක්ක Facebook skype වලින් සෙට් වෙනවා.. එත් ඉස්සර වගේ ආතල් නෑ.. කැම්පස් එක පහුකරන් එක වාරයක් පාසාම ඒ මතකයන් ආයිත් අලුත් වෙනවා....


මේ තියෙන්නෙ ලගදි ගිය වෙලාවක ගත්ත photo දෙකක්...
2 ප්‍රතිචාර

ආයුබෝ වේවා...




ඔන්න එහෙනම් ආයුබෝ වේවා...

හා හා පුරා කියලා ලියන මහත්තයාගේ තීරුවටගොඩ වුන හැම දෙනාම සාදරයෙන් පිලිගන්නවා.. මේ තීරුව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ලියන මහත්තයා මුහුන දුන්න, මහත්තයාගේ ඇන්ටනාවට මීටර් වුන දේවල් වගෙම  ඔය නිකන් ඉන්න වෙලාවට ඔලුවට එන දේවල් කුරු‍ටු ගාන්න හිතාන තමයි මේ බ්ලොග් තීරුවේ මායිම් ලකුණු කලේ..

 නිකන් ඉන්න වෙලාවට ඇවිත් බලලා යන්නයි මේ ආරාධනාව....
 
;